නොදුටු ඉසව්ව

By Pasan Bhanu Guruge - November 15, 2016


ගමෙන් වෙන්වෙලා අපි කොළඹ ආවා. අලුත් තැනක්, අලුත් පරිසරයක්... හැමදෙයක්ම අලුත් වෙලා. අපි ගොඩක් හිතන්නේ ගමෙන් ඈත් වෙලා නගරෙට ආවම ගමේ සුන්දරත්වය නැති නිසා අපේ හිත කොන්ක්‍රීට් වනාන්තරයක් තුල අතරමං වෙයි කියලනේ. ඔව් ඒ කතාවනම් 100% ඇත්ත. කොන්ක්‍රීට් වනාන්තරයකම අතරමන් නොවුනත් හිතේ තිබුන නිදහස් හැගීම පහන් හැගීම් නම් නැති වෙලා යන්න ගොඩක් කල් ගත වූනේ නෑ. සති අන්තේ ගෙදර යනකම් ඇගිලි ගනින අමුතුම විදියක සතියක් තමයි අපිට තිබ්බේ.
එත් මන් කියන්න යන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ දේ හැමෝටම නොවුනත් කීප දෙනෙක් හරි අත් විදලා ඇති. ජනාකීර්ණ නගරයක් කලබල වෙන්නේ දවල් වෙලාවටනේ... එත් උදේ පාන්දරම ඒ නගරයම බොහොම නිස්කලංකව නිශ්ශබ්දව තියෙන බව ඔයාල අත් විදලා තියෙනවද? ගොඩක් කලබලකාරී තැන් හැම එකක්ම එහෙමයි. පාසල්, පන්සල්, විශ්වවිද්‍යාල මේ හැම තැනකම තත්වය එහෙමයි.

මට පහුගිය විශ්වවිද්‍යාල නිවාඩු දිනයක උදේ පාන්දරම එයට යන්නට අවස්ථාවක් ලැබුනා. මං හිතන්නේ එදා මන් දැක්කේ විශ්වවිද්‍යාලයක් නම් නෙවෙයි. ගොඩනැගිලි තිබ්බා, කාපට් පාරවල් තිබ්බා.. එත් ගස්වල කොළ වැටුන ඒ මන් මාවත් දිගේ මං ඇවිදන් යනකොට මට දැනුනේ හරිම සැහැල්ලු හැගීමක්. හරියට කැලෑබද ප්‍රදේශයක තියෙන බෞද්ධ ආරාමයකට ගියාම ඇති වෙන හැගීමක් තමයි මගේ හිතේ තිබ්බේ. එදා මන් දැක්ක සුන්දරත්වය දැකපු අය ඉන්නවා ඇත්තේ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන. පුළුවන් නම් ඒ සුන්දරත්වයත් එක්ක මොහොතක් තනිවෙන්න අවස්ථාවක් ලබාගන්න. ඔයාලට ඒ හැගීම ජිවිතේට අමතක නොවන හැගීමක් වෙයි.

ඒ වගේම මං එදා තව ගොඩක් දේවල් දැක්කා... ඒවා නම් අපි හැමදාම දකින දේවල් තමයි. එත් අපි කිසිම ඕන කමකින් ඒ දිහා බලන්නේ නැ කියලනම් මට හොදටම විශ්වාසයි. අපි හැමදාම උදේට විශ්වවිද්යාලට යනකොට මාර්ගය, ආපනශාලාව, දේශනා ශාලා ඇතුළු හැම අස්සක් මුල්ලක්ම බොහොම හොදට පිරිසිදු වෙලා තියෙන බව ඔබ ඕනා තරම් දැක ඇති. නමුත් එය සිදු කරන පිරිස ඔබ නොදකින්න ඇති. ඔබ දැක්කත් ඒ දිහා කිසිම උවමනාවකින් නොබලන්න ඇති. නමුත් මෙවැනි දින වල සිසුන් නොමැති නිසා ඔවුන්ව ඔබේ දර්ශනයට අනිවාර්යයෙන් අසුවේවි. මින් පෙර ඔබ නොදුටු ඔවුන්ගේ වෙහෙස ඔබ දකීවි. මින් පෙර සංවේදී නොවූ ඔබේ සිත් සංවේදී වේවි. මිතුර ඔවුන් ඔබ වෙනුවෙන් හෙලන දහදිය ඔබ හොදින් මතක තබා ගන්න. වසර කිහිපයකින් ඔබ සුබෝපබෝගී වාහන වලින්ම මේ පරිශ්‍රය තුල ගමන් කරාවි. නමුත් අද මෙන්ම එදත් ඔවුන් ඔබ වෙනුවෙන් දහදිය හෙලන බව මතක තබා ගන්න. ඔවුන්ගේ මහන්සිය වෙනුවෙන් ඔබට හැකි දේ කිරීමට මැලි නොවෙන්න.

පසුගිය දිනක පැවැත්වූ සීල ව්‍යාපාරයේදී මා මුහුණ දුන් තවත් සංවේදී අත්දැකීමක් ගැන මතක් කරනු කැමැත්තෙමි. දහවල් දානය පිලිගන්වූ පසු එයට සහය දුන් අපිද දහවල් අහර ඉතිරි වූ දානයෙන් පිරිමසා ගත්තේමු. ඒ වනවිටත් එතනට පැමිණ සිටි විශ්වවිද්‍යාලය පිරිසිදු කිරීම් සදහා සහය දක්වන පිරිස ආහාර නොගෙන බලා සිටියේය. ඔවුන් අපි සියල්ලෝම අහාර ලබාගෙන අවසන් වන තුරු ආහාර ලබාගත්තේ නැත. ඔවුන් පැවසුවේ "පුතාල ඔයාල මහන්සි උනානේ, ඔයාල කාලා ඉවර උනාම අපි කන්නම්!". අපි එක දිනක් පමණක් එය වෙනුවෙන් මහන්සි උන බව සැබෑය. නමුත් ඔවුන් අපි වෙනුවෙන් නිවාඩු දිනවල පවා මහන්සි වෙයි. අපි එයට පෙරලා ඔවුන්ට ලබාදුන්නේ කුමක්ද? ඉංජිනේරුවන්, දොස්තරවරුන් වැනි ඉහල රැකියාවල් කරන පුද්ගලයන් විශ්වවිද්‍යාල වලින් බිහිවෙන බව සැබෑවකි. නමුත් ඒ ගොඩනැගීම පිටුපස සිටින නොපෙනන පිරිස වෙනුවෙන් අපි සිනහවකින් එකම එක වරක්වත් සංග්‍රහ කර ඇත්ද?

කුණු අස්කිරීම, පිරිසුදු කිරීම ඔවුන්ගේ රැකියාව විය හැක. එයින් ලැබෙන පඩියෙන් ඔවුන් තමන්ගේ දරුවන්, පවුල පෝෂණය කරනවා ඇත. අපද අනාගතයේදී කරන්නේද එයමය. ලැබෙන පඩියේ වෙනස නොවන්නට අපිද ඔවුන්ගේ මට්ටමේම බව අප නුවනින් මෙනෙහි කල යුතුව ඇත. එවිට ඒ තුලින් බිහිවෙන ඉන්ජිනේරුවා හෝ දොස්තර මහතා සොදුරු මිනිසෙකු වනු ඇත. ඔබ සොදුරු මිනිසෙක්ද යන වග මොහොතක් සිතන්න... සොදුරු මිනිසෙකු වන්නට උත්සහ කරන්න. එවිට යම් දිනක ඔබේ හදවත ඔබ වෙනුවෙන් "ඔව්" ලෙස හඩනගා කියාවි. එදිනට ඔබ ලෝකයේ වෙන අය නොදකින තවත් සුන්දර ඉසව්වක් දුටු බව පසක් වේවි.

  • Share:

You Might Also Like

0 comments